Monday, July 2, 2012

රඹුටන්...

හැම අවුරුද්දකම ජුනි අගෝස්තු කාලෙ කියල කියන්නෙ රඹුටන්,මැන්ගුස් එහෙම හැදෙන කාලෙ.පාර දෙපැත්තෙ ගස්වල රතු ම රතු පාට රඹුටන් වලු පිරිල ඒවයේ බරට අතු පහලටම නැමිල බරවෙලා.ගස් යට ඉඳන් අතට අහු වෙන හැම පොලු කෑල්ලකින් ම,ගල් කැටයකින් ම රඹුටන් වලුවලට ගහල ගෙඩි දෙක තුනක් හරි බිම දා ගන්න උත්සාහ කරන කොල්ලෝ කුරුට්ටන්ගෙනුත් අඩුවක් නෑ...ගමේ එහෙම උනත් කොළඹට එනකොට තත්වෙ ඊට වෙනස්.පාර දිගටම ඉටි රෙදි උඩ එක එක රටාවලට මෝස්තරවලට ගොඩ ගහපු රඹුටන් ගොඩවල්....දහයක් පනහයි!!!! යන එන කවුරු කවුරුත් රඹුටන් ගෙඩි ටිකක් නොගෙන යන්නේ ම නැති තරම්.ගත්තු ගමන් කන්නත් පුළුවන් නෙ!හැබැයි ලෙල්ල කටින් හපන්න හොඳ නෑ කියලත් කියනවා.කොහොම උනත් මේක ලියන මාත් ඇතුළුව අපි හැමෝම රඹුටන් ලෙල්ල හපන්නේ කටින් ම තමයි!

රඹුටන් ගැන ලියන්න හිතුනේ රඹුටන්වල ගුණ අගුනවත්,ලෙල්ල කටින් හපන එක හොඳ ද නැද්ද කියල විචාරයක් ලියන්නවත් නම් නෙමෙයි.රඹුටනුත් එක්ක මට මතක් වෙන එක්තරා කෙනෙක් ගැන ලියන්නයි මේ හදන්නෙ!රඹුටන් හැදෙන්නේ අවුරුද්දේ එක කාලෙක විතරක් වීම හොඳයි කියල රඹුටන් ගොඩවල් දකිද්දි මට හිතෙනවා!

මේක පරණ කතාවක්.සිද්ද වුනේ මම පහ වසරෙ ඉන්න කාලෙ.(දැනට අවුරුදු 20 කට විතර ඉස්සර ;) )මගේ පන්තියේ හිටියා ගෑනු ළමයෙක්.(ගෑනු ළමයි 20 ක් විතර හිටිය.මේ කියන්නෙ එක්කෙනෙක් ගැන.)එයාගේ නම ******.(නම ඕන නෑ..හිතුවද නම කියයි කියල? :P )ඉතින්, මේ ළමය හරි හුරුබුහුටි කෙල්ල.සුදු ම සුදු නෑ.ඒත් හරි ම අපූරු සිත්ගන්න සුළු පෙනුමක් එයාට තිබුන..කොන්ඩෙ කරල් දෙකට ගොතල,කළු පාට පුංචි රිබන් පටිවලින් ගැටගහල හිටියෙ.ඒ මදිවට ලොකු ලස්සන ඇස් දෙකකුත් තිබුන.නහය ගැන වෙනම ම පිටුවක් දෙකක් ලියන්න පුළුවන් තරමට එයාගෙ නහය ලස්සනයි.(ජීවිතේ මේ ටික කාලෙට විවිධාකාර දේවල් දැකල දැකල ම කුරෝලු වෙලා ඉන්න මම, තාමත් ඒ වගේ සුන්දර නහයක් නම් කොහේදි වත්   දැකල නෑ...).එයා හිනා වෙද්දි අර කාගෙදෝ වගෙ කම්මුල් ලස්සනට වල ගැහෙනව..මෙලෝ හසරක් නොතේරෙන පහ වසරෙ හිටියා උනත් ****** ගැන මගේ පුංචි හිතේ අමුතු මොකක්දෝ යමක් තිබුණු බව මට අද වගෙ මතකයි.(ඒ 'අමුතු යමක්' කියල කියපු දේ අදටත් මතක් වෙනවා.එහෙම මතක් වෙද්දි අද දවසේදිත් මගේ හදවත ටිකක් වේගවත් වෙනව!) ඒ නිසාමද කොහෙද එයා මාත් එක්ක කතා කලත් මට එයා එක්ක හිතේ හැටියට කතා කරන්න බැරි වුනා..මම වචනෙන් දෙකෙන් ෂේප් වෙලා ගියා..(හොර හිත!)
ඇත්තම කිව්වොත්,මට මොකක්දෝ ලැජ්ජාවක් හිතුන...

ඔන්න දවසක් ඉන්ටවල් එකේ මොකක්දෝ කරුමෙකට වැස්ස නිසා මම යාළුවො සෙට් එකත් එක්ක සෙල්ලම් කරන්න ගියේ නැතුව පංතියෙම හිටියා.****** මගේ ලඟට ආව.මම තිගැස්මෙන් එයා දිහා බැලුව.

'#####!' එයා මගේ නම කියල මට කතා කළා!

"ඇයි?" ඒ මගේ කෙටි ප්‍රශ්නය..

'අත අල්ලන්නකෝ බඩුවක් දෙන්න..." ඒ ඇගේ හුරතල් කට හඬ.

"................" ඒ උත්තරයක් දීගන්න බැරුව තුෂ්නිම්භූත වෙලා ඉන්න මගේ නිහැඬියාව.

"අනේ අත දෙන්නකෝඕඕ........." එයා බලෙන් ම මගේ අත එයා දිහාවට ඇදල අරන් මොනවදෝ කොහු කොහු වගේ අහුවෙන දෙයක් මගේ අත උඩින් තිබ්බ...(ඒ අතේ සිනිදු පහස තාමත් මට මතකයි!)

මම අත දිගෑරල බැලුව.

රතු ම රතු පාට රඹුටන් ගෙඩි දෙකක්!!!!!

මගේ තියෙන අහේතුවට මම ඒ රඹුටන් ගෙඩි දෙක එයාට ම ආපහු බලෙන් ම දුන්න.(රඹුටන් තරමට ම මාත් රතු වෙලා හිටියා බව කවුරු හරි බලාගෙන හිටියනම් දකින්න ඇති).එයා මං දිහා වේදනාවෙන් බලල හැරිලා ගියා!

පහුවදා ආපහු අපි සුපුරුදු විදියට අපේ ජීවිත ගෙවාගෙන ගියා.එයා මාත් එක්ක සුපුරුදු විදියට ම කතා කළා.සාමාන්‍ය විදියට හැම දේම සිද්ධ වුණා! රඹුටන් සිද්ධිය අපිට අමතක වුණා!

කාලය ගත වෙලා ගියා.මම වෙනත් පාසලකට ආව.එයා තවත් කොහේට හරි යන්න ඇති!කොහෙද ඉන්නේ කියල දෙයියො තමයි දන්නෙ!

ඒත්......තාමත් රඹුටන් දකිද්දි එදා මම කරපු නොසන්ඩාල වැඩේ ගැන ලොකු හිතේ අමාරුවක් මගේ හදවත කීරි ගස්සවනවා! ******* ගෙ වේදනා බර මුහුණ මට මැවි මැවී පේනවා.රඹුටන් හැදෙන්නේ අවුරුද්දේ එක කාලෙකට විතරක් වීම හොඳයි කියල මම කිව්වේ ඒකයි!එහෙම නොවුන නම් එයාව වත්, එයාගේ මතකය වත් මේ තරම් රසවත් වෙන එකකුත් නෑ.
අන්තිමට මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මෙච්චරයි.......


ජීවිතේට අවස්ථා දෙකක් එන්නෙ නෑ!

No comments:

Post a Comment