Monday, July 2, 2012

වැස්ස.......


අහස අඳුරු අළු පාටකට හැරිල අකුණු එළිවල එලිය විතරක් සැරින් සැරේ අහස පුරා පැතිරිලා යනව.කොහේදෝ නොදන්න තැනකින් හමාගෙන එන හීතල සුළං රැලි ගතත් සිතත් හිරිවට්ටනව.ටික වෙලාවකින් පුංචි වැහි බින්දු එක දෙක වැටෙන්න පටන් ගන්නව..........

වැස්ස වහිනවා........

වැස්ස අපේ හිත්වලට එක එක වෙලාවට එක එක හැගීම් අරගෙන එනව.අපි ඉන්න තැන එක්ක ඒ හැගීම් එක එක විදියට වෙනස් වෙනව.

නුවර වැව රවුම.හැන්දෑවෙ පහයි.
හීන් වැහි බින්දු වැවට වැටෙද්දි දිය රැළිති එහාට මෙහාට වැනි වැනි අමුතු රටා මවනව.වැහි ලිහිනියො අහස පුරා එහාට මෙහාට පියාඹනවා.මාලිගාවට එහායින් මීදුමට වැහුණු උඩවත්ත කැලේ යාන්තමට පේනව.වැස්ස ගැන වගේ වගක් නැති පෙම්වතුන් වැව රවුම වටේ නුගගස් යටට වෙලා වැව දිහාත්,වැස්ස දිහාත් ඔහේ බලාගෙන ඉන්නව......සතුටකුයි දුකකුයි මුහු වෙච්ච කියාගන්න බැරි අමුත්තක් හිතට දැනෙනව.

මාතර බස් නැවතුම්පොළ.වෙලාව හවස තුනයි.
අහස වගේම අළු පාට ගැහුණු ඉන්දියන් සාගරය වෙනදට වඩා ටිකක් රළුයි.ඈත පරවි දූපත පැත්ත පේන්නෙ නැති තරමට වැහි අඳුර පැතිරිලා..වැස්ස හින්ද වෙනදට වඩා බස් නැවතුම පාලුයි.ඉඳල හිටල ඇහෙන කන් හාරගෙන යන නලා හඬක් හැරුනහම ඇහෙන්නෙ තොරතෝංචියක් නැති වැස්සෙ හඬ විතරයි.හිත පාලු,වේදනාබර කල්පනාවකට යට වෙන්න පටන් ගන්නෙ අපිටත් නොදැනිමයි....

පිටකොටුව.හවස හතරයි.
කානු,බෝක්කු පිටාර ගලාගෙන මඩ පාට වතුර ගලාගෙන යනව.විකුනන්න ගෙනාපු රම්පෙ කරපිංචා ගොඩවල් ඒ වතුරෙ හේදෙනවා.වැස්ස ගානකට ගන්නෙ නැති මිනිස්සු වැස්සෙ ම නිමා නොවෙන ගමනක එහා මෙහා යනව.තමන් වගේ පස් හය ගුණයක් උස ගෝනි කර උඩ තියාගත්ත හීන්දෑරි මිනිස්සු රංචු වෙනදටත් වඩා වේගෙන් බඩු එහා මෙහා අදිනව.වැස්ස ඒ මිනිස්සුන්ව තලල පෙලල සතුටු වෙනවදෝ කියල වෙලාවකට හිතෙනව. අපේ රටේ මිනිස්සු ගැන දුකකින් හිත වේදනාබර වෙනව.

එක ම දේ වුනත් එක එක වෙලාවල එක එක හැගීම් හිතට අරගෙන එනව.වෙලාවකට සතුටක්.වෙලාවකට දුකක්.....වැස්ස ඒ වගේ දේවල්වලින් එකක් විතරයි...එත්, වැස්සට අපි ආදරෙයි!



 
 (මේ ලිපිය මේ විදියට ම facebook එකේ චන්දනපාය පිටුවේ පල වුනු බවත් කරුණාවෙන් සලකන්න http://www.facebook.com/pages/Chandanapaya )

No comments:

Post a Comment