Monday, July 2, 2012

විජේරාම හන්දිය....

කොළඹ - අවිස්සාවේල්ල A-4 හයිලෙවල් පාරෙ නුගේගොඩයි මහරගමයි අතරෙ තියෙන පුංචි හන්දියක්... හන්දිය මැද්දෙම අතු පතර එහාට මෙහාට හෙවිල ගියපු රූස්ස බෝ ගහ.කවුරුවත් වඳින්නෙ පුදන්නෙ නැති හින්දද කොහෙද කොන්ක්‍රීට් වනන්තරේ යන එන මං නැති කපුටු ජෝඩු දෙක තුනක් තමන්ගේ අපිළිවෙල කූඩු ඒ බෝ ගහේ හදාගෙන ඉන්නව!
හන්දියෙන් එක පැත්තක් සෝරත මාවතට.හන්දියෙන් උඩහට උඩහමුල්ල පාර.
හයිලෙවල් පාර නිසා හන්දිය ම හරිම කලබලකාරීයි.තොරතෝංචියක් නැතුව එහාටයි මෙහාටයි හැල්මෙ දුවන වාහනවල ගොරෝසු විලාප,නලාවල මර ලතෝනි,දූවිල්ල........

දවසේ කොයි වෙලාවේ බැලුවත් එහෙමයි.හවස් වෙද්දී මේක දෙගුණ තෙගුණ වෙනව.දොරෙනුත් ටිකක් එළියට සෙනග පුරවගෙන බස් උඩහටයි පහළටයි ඇදෙනව.කොච්චර සෙනග පිරිල උනත් විජේරාම හන්දියෙත් බස් එක නවත්තගෙන ගිරිය යටින් කෑ ගහන්න කොන්දොස්තරල ට අමතක වෙන්නෙ නෑ.වාසනාව ට ලං වෙන්න තියෙන අන්තිම ප්‍රවේශ පත්‍ර ටික විකුණ ගන්න පොරකන ලොතරැයි වෙළෙන්දොත් හන්දියෙ එහාට මෙහාට බෙලෙක් සින්දු හඬ පතුරවමින් බයිසිකල් පදිනව.දවසේ වැඩ ඉවර කරපු ගැහැණු,මිනිස්සු හන්දියෙ උඩ පහල කඩිමුඩියෙ ගමන් කරනව.රෑ කඩේ කොත්තු ගහන සද්දෙත් කන් හිරිවට්ටගෙන, හන්දියෙ ශබ්ද පූජාව ට අඩුවැඩිය සපයනව.ටකට ටකට ටක ටක ටක.......

ජීවිතෙත් හරියට විජේරාම හන්දිය වගෙයි.කොයි වෙලාවෙ වත් නිවනක් නෑ...තේරුමක් ඇතත්,නැතත් එහාටයි මෙහාටයි ඔහේ ඇදිල යනව.හන්දියෙ වගේම ජීවිතෙත් එහාට මෙහාට යන පාරවල් ගණනාවක් තියෙනව.

හැබැයි සෝරත මාවතේ ගියත්,උඩහමුල්ල පාරෙ ගියත්,හයිලෙවල් පාරෙ ගියත් අන්තිමට වෙන්නෙ හති වැටෙන එකයි,කකුල් අමාරුවයි විතරයි!



 (මේ ලිපිය මේ විදියට ම facebook එකේ චන්දනපාය පිටුවේ පල වුනු බවත් කරුණාවෙන් සලකන්න http://www.facebook.com/pages/Chandanapaya )

No comments:

Post a Comment